තෙරක් නොපෙනෙන කතරක අතරමවී මිරිඟුවට පවා රැවටෙද්දී කටු පිරුණ පතොත් සෙවන පවා මහ මෙරක් තරම් වටිනවා.. යන මඟ පවා නොදැන මඟට බැස හිස් හැරුණ අත යන්න ඉදපු උදුල්ගේ තනියට නෙතිජත් එකතු වෙද්දී ඒ ආව ගමන අවසානයේ නතර වෙලා තිබුණේ නම් මෘදු සිනිඳු මල් යහනක නොවී රළු කටු ඉඹුලකයි.. ඒත් ඔවුන් දෙන්නා හිතූවෙම දවසක මේ කටු ඉඹුලෙත් මල් පිපෙයි කියලා වෙද්දී ඔවුන් ඒ විසල් දොරටුවෙන් ඇතුල් වුනේම ඕනෑම දෙයකට මුහුණ දෙන්න හිත හදාගෙනයි...
නිවාඩු නිකේතනයේ කාටවත් වැඩිපුර ඇස නොගැටෙන තැනක තිබුණ මේසයක් වටා වාඩිවෙලා හිටියේ හැඩිදැඩි පිරිමි හතර දෙනෙක් වෙද්දී ඒ අතරින් දුරකථනයෙන් කතා කරමින් ඉන්නේ රත්තරන් බව උදුල් ඈත තියාම අඳුන ගත්තා..
"හ්ම්... හරි.. උඹ බයනොවී ඉදපන්.. මම බලාගන්නම්... හ්ම්... අපේ එකෙක් එයි දැන් ඔතනට.. හ්ම්... හ්ම්.... නෑ.... නෑ... හොයන්න දෙයක් නෑ... දැනටම මෙතන ඉන්නවා... හරි... එහෙනම්... තෙරුවන් සරණයි..."
දුරකථන සංවාදයේ ඉදපු රත්තරන් වරින් වර යමක් ගැන කියවද්දී එහාපැත්තෙන් කතා කරන කෙනා කියුවේ මොනවද ඇහුනේ නැතත් ඒ කතා කලේ බරපතල කාරනාවක් ගැන කියන එක රත්තරන්ගේ මූණේ හැඟීම් වලින් කියවුණා... රත්තරන් සංවාදය අවසන් වෙලා කෙලින්ම බැලුවේ උදුල් දිහා වුනත් ඊළඟට ඒ බැල්ම නෙතිජ ලග නතර වෙද්දී නෙතිජට තරමක අපහසුවක් දැනුනා...
"උඹ දන්නවද දැන් කතා කලේ කවුද කියලා...."
රත්තරන් එකහෙළාම නෙතිජ දිහාම බලාගෙන අහපු ප්‍රශ්නයෙන් නෙතිජ වගේම උදුල්නුත් වික්ෂිප්ත වුනත් නෙතිජ හිස දෙපසට හොලවලා ඉක්මනින්ම නෑ කියලා උත්තර දුන්නේ රත්තරන්ට තරහා යයි කියලා බය හිතුන නිසයි..
"ඒ කතා කලේ සවෙත්.... උඹේ අම්මා මාර ගෑණියෙක්නේ බන්.. උඹ ගෙදරින් ඇවිත් පැය දොළහක් වුනේ නෑ සවෙත්ව පොලිසියට මාට්ටු කරලා අන්න.."
රත්තරන් කියපු දේ එක්කම උදුල් වගේම නෙතිජ කලබල වුනත් එයාලා මෙතනට එන්නත් කලින්ම රත්තරන් එයාලව බලාපොරොත්තුව හිටියා කියන එක එයාලා දෙන්නම තේරුම් ගත්තා.
"සවෙත්ට මොකද වුනේ.. "
"උඹලා දෙන්නා හිතන් ඉන්නේ හෙන පොරවල් කියලද... ඒ නිසාද අරූව දාලා මාරුවුනේ... "
