ඒ රාත්‍රියේම ලාල් මතුරා බැඳි නූලකින් යම් තරම් සහනයක් වූ වූවා සේ වර්ණා සන්සුන්ව නින්දට වැටුනාය. මට නම් හරිහැටි නිදාගත නොහැකි විය .
මහ රෑ යළිත් වතාවක් බිත්තියට හේත්තු කළ බයිසිකලය සෙලවෙන හඬ ඇසින. සීනුවද යන්තමට නාද විය. පසුව කවුද මිදුලේ ඇවිද යන හඬක් ඇසුනි .වියලි කොළ සරසර ගාන හඬ කාමරේ කවුළුව ළඟින් යනවා මම අසා සිටියෙමි.
නීලාවතී හෝ කාල් මේ රාත්‍රියේ හොල්මන් කරනවාද? අමර ඔවුන් හා බහින් බස් වීමේ දී ඔවුන් යම්කිසි හදි හුනියමක් සැබැවින්ම කළාද? එසේ කළා නම් එය ගියේ අහිංසක වර්ණා මතිනි.
කොට්ටේ යට අතගා බැලූ මට පිරිත් පොත එතන නැති බව පැහැදිලි විය. කලින් නදුනි රැගෙන ගිය නිසා මට යම්කිසි හානියක් වෙතැයි මා සිතුවත් කරන්නට කිසිවක් නොමැත. මම අවදිව සිටියෙමි . ඇඳින් නැගිට දොරකඩ ඇරගෙන පිටතට යද්දි මා සිත වූයේ විවිධාකාර සිතුවිලිය. අද්භූත බලවේගයකට අවනතව දොරින් පිටව යනුවෙන් මට හැඟිණ.
මා තව මොහොතකින් තරුපිරි අහස යට සිටීමි. එහෙත් මා පෙරලා කාමරට ආවේ මගේ සියලු සාරය උරා ගිය ආකාරයකිනි .මගේ අවට යම්කිසි අද්භූත බලවේගයක් ඇතයි මට නිතර සිතුනි . එයින් පසු මා ඉතාම වෙහෙසකර නින්දකට වැටුනෙමි. මගේ දකුණු කම්බුලේ අලුත්ම සීරීම් පහරක් විය. පිටත ඇති කොහේ හෝ ගස් අත්තක සීරෙන්නට ඇතැයි මම සිතුවෙමි. කෝකටත් මේ රාත්‍රියේ ලාල් තොවිලය නටා සියල්ල සමනය කරනු ඇත. මෙවර මා කාර්යාලයට ගිය කල මම තොවිලය පිළිබඳව හැම දෙනාටම හෙළි කලෙමි. කටින් කට ගිය ආරංචිය අසලිට ද බණ්ඩාරට ද සැලවිය .
"අනේ හොඳයි මහත්තයා ආරක්ෂාවක් කරගන්න එක" යැයි බණ්ඩාර කීවේය. "මහත්තයෝ ඔය කියන මිනිහට ඕක කරන්න බැරි නම් අපි රන්දේලිය ගුරුන්නාන්සේට කියමු "
"හොඳයි බලමුකෝ"
" අපිත් එන්නම් තොවිලේ නටනවා බලන්න "යැයි අසලි කීවේය. "අපි යමුද දේවිකා එහෙනම්?"
"එහෙනම් අපි ටිකක් වෙලා ඉඳල එමු " අනුකද එකඟ වුණේය.
වැඩ ඇරෙන සැණින් ගෙදර ගිය මට තොවිලය වෙනුවෙන් කරන්නට බොහෝ වැඩ කටයුතු තිබිණ. මල් පලතුරු පිළියෙළ කිරීම ,ගෙදරදොර අස්පස් කිරීම, අමුත්තන්ට සංග්‍රහ කිරීම, කට්ටඩියන්ට හා තොවිලයට ආ අනික් නැටුවන්ටත් අවශ්‍ය දේ සැපයීම සඳහා මම සියල්ලටම හවුල් වුනෙමු . නදුනි අම්මට කුස්සිය වැඩ සදහා අත් උදව් දුන්නාය .වරින් වර අප වර්ණා ගේ සැප දුක් විමසුවාය.
වර්ණාගේ මුහුණ මේ දෙදිනට හැකිලී වෙනස්ම පැහැයක් ගෙන තිබිණි . ඇය වරින් වර වමනය කළ නිසාදෝ ඇය තෙහෙට්ටු ගතියකින් පෙළුණි. අඳුර වැටෙන්නට කලින් අසල්වාසීන් කීප දෙනෙක්ද අත් උදව්වට සිටියෝය. එක් කාන්තාවක් වර්ණා ගේ මුහුණ අතපය සේදුවාය. ඉතිරි පිරිස අනිකුත් වැඩවලට උදව් දෙන්නට ගියෝය. මා මිදුලේ පැලක් බඳින්නට උදව් වෙමින් සිටියදී මට හදිසියේ අමර කෑ ගසන හඩ ඇසින.
"පලයල්ලා පලයල්ලා. උඹලගෙ උදව් අපට ඕන නැහැ.!" ඔහු හඬ නගා කියනවා ඇසී මම ඒ අතට ගියෙමි. නීලාවතී හිස නමාගෙන කූඩාරම අතට අහිංසකව ඇවිද යනු මට පෙනිණ .
" දන්නැද්ද අයියේ උන් එනවා උදව් දෙන්න කියලා. ඔය එන්නේ උදව් දෙන්න නෙමෙයි. ඔත්තු හොයන්න. ඔත්තු හොයලා තව විනයක් කරන්න !"
නීලාවතී අඩ අඳුර දෙස බලා හැල්මක් නැති ආකාරයෙන් සිටිනු මට පෙනිණ .ඇය සාපයක් කරනවාද යන සැකය මා තුළ ඉස්මතු වූවා නොවේ. රෑ බෝවෙන්නට කලින් අසලි , අනුක හා දේවිකා ජෝඩුවද තොවිල් ගෙදරට ආහ.අසලි හා දේවිකා එකතු වී පොල් සම්බෝලයෙකුත්, පරිප්පුවකුත් හදාගෙන විත් තිබිණ. අසළි හැසිරුණේ කුළුපගු නෑදෑයෙකු ආකාරයෙනි .ලාලනී මැණිකේට ගොස් කතා කර ඈ වර්ණා ගේ කාමරයට ගොස් ඇයගේ සැප දුක් විමසුවාය. වර්ණා සිටියේ වෙහෙසකර නින්දකය .
"අනේ පව් අනේ කෙල්ල" යැයි අසළි පිටුපස පිලේදී මට කීවාය .
"මං හිතුවේ නෑ වර්ණ වගේ කෙනෙකුට කවදාවත් ඔහොම වෙයි කියලා. "
"අපි කාටත් නොහිතපු දේවල් වෙන්න පුළුවන් අසලි"
" ඒක නම් ඇත්ත දනුක. ඒ වුනාට ඔයාට හිතෙන්නේ නැද්ද අපිට ඒ දේවල් වෙනස් කරන්න බැරි වෙයි කියලා ."
" මම නම් ජීවත් වෙන්නේ වෙන දෙයක් වෙන්න කියලා. "
"එහෙමනම් තොවිල් නටලා වැඩක් නෑ නේද? මේකෙන් වෙනසක් වෙන නිසානේ මේක කරන්නෙත්. "
"අනේ මන්ද මට නම් ඒ හැටි වෙනසක් පේන්නේ නැහැ. වෙනසක් උනොත් හොඳයි"
"ඔයත් එක්ක බැහැ අනේ .මෝඩයා!" ලේන්සුවේ මුව වසා ඇය සිනාසුනාය.
"මේ ඒක නෙමෙයි" ඇය යමක් කියන්නට සැරසෙත්ම
"අනේ මේ බලන්න" කියා මගේ මුහුණ අත ගා බැලුවාය.
" බලන්න දනුක ඔයා හිතන්නේ මේකත් තොවිලෙන් මගඇරිලා යාවි කියලාද?"
" එහෙම හිතමු ."
"අර අහිකුණ්ටක ගෑනි කියපුව නම් තාම මගේ හිතේ හොල්මන් කරනවා. "
"මට නම් වැඩි මතකයක් නෑ"
" කොහෙද ඉතින් පිරිමින්ට ඕවා මතක තියෙන්නේ"
"ඇවිල්ලා ඉන්න කට්ටියට තේ ටිකක් හදන්න ඕනේ "කියමින් ලාලනී මැණිකේ අප සිටි තැනට ආවාය.
" මං හදන්නම් ආන්ටි" කියා අසලි ඒ අතට ගියාය .තව ටික වෙලාවකින් ඇය හැදුව තේ තැබූ බන්දීසි රැගෙන ආවේ නදුනිය . කළුවර වැටෙද්දී ලාම්පු දෙකක්ද දැල්වුණේ ය. ගෙදර වටා උත්සව සිරියක් විය. හැමදෙනාම කතා කරන හඬ ඇසුණි .හඬ, ආලෝකය අතරේ සියලු භූතයන් පලා යනු ඇතැයි මට හැගිනි. එහෙත් වර්ණාගේ කාමරය තුළ දැඩි අඳුරක් හා දුගදක් විය. ඇය කෙරෙහි මා තුළ ශෝකයක් උපන්නේය. අප හැමටම උදව් කළ වර්ණා මෙසේ ඔත්පලව සිටීම ඉහිළුම් නොදෙන කාරණයක් විය.
ඉදිරි මිදුලේ තොවිලය ඇරඹුණේය. එක් කෙළවරක ඉදිකරන ලද මඩුවක් ඉදිරියෙන් ගොක්කොලෙන් සෑදූ සැරසිලි හා රතු ජටා බැඳගත් අත්උදව්කරුවෝ ගැවසුනාහ. ඊට ඉදිරියෙන් මිදුල මැද සුදු රෙද්දකින් වසන ලද තට්ටුවක් විය .එහි කැවුම් කෙසෙල්,කොකිස් ආදි නොයෙක් ජාති විය.ඒ හැරෙන්නට නොයෙක් වර්ගයේ පලතුරු හා සත් වර්ණයෙන් මල් ද එහි තැබිණ.
" මස් මාංස කෝ?" කවුදෝ ඇසුවේය .
" අපි මෙහි මළ පිදේනි දෙන්නෙ නැහැ" ලාල් පිළිතුරු දුන්නේය.
ඉස්තෝප්පුවේ එළන ලද පැදුරකින් සුදු කඩින් හිස වසාගත් වර්ණා හිඳ සිටියාය. ලාල් කළ දුම් ඇල්ලීමෙන් හා යාගයකින් පසු බෙරපද ඇරඹිණ .මඩුව ළඟ ගිනිපන්දම් දැල්විණ .මඩුවේ සිට යක් බෙරෙන් වැයුණු පදයට ආවේශ වූ වෙස් ගත් කීපදෙනා බෙරපදයට නැටුහ.
රෑ කෑමෙන් මද වෙලාවකට පසු අසලිත් ,අනුකත් ,දේවිකත් සමුගත්තේ හෙටත් වැඩට යා යුතු නිසා නිදි මැරිය නොහැකි බවයි. මම පසු දිනයට නිවාඩු ගෙන සිටීමි . එළවෙනතුරු තොවිලේ කෙරෙන නිසා මට හරියට නින්දක් නොවෙන බැවින් කල්තියාම දැන සිටීමි . නොයෙක් බෙර පද වැයීම්, වෙස්ගත් නැටුම් මා නෙත ගැටෙන ගිනි පන්දම් වලින් අවට එළියෙහි වර්ණා අඩපනව පැදුරේ හිඳ සිටියාය. නදුනි පැදුර කෙළවරේම නිදා වැටුණාය. මමත් අනෙක් කීප දෙනත් කෝපි බොමින් අවදියෙන් සිටිමු.
හදිසියේම වර්ණා පැදුරෙන් නැගිට මිදුල මැදට ගොස් නැටුවාය. මැණිකෙත් නදුනි ත් කෑගැසුවත් ඒ හඬට උඩින් ඇසුනේ බෙර පදයයි. වර්ණා පිදේනි තට්ටුව වටා යමින් පරල වී හිස සලමින් නැටුවාය. ලාල්ගේ අතෙහි වූ පොල් මල් ඉත්තෙන් ඉසූ පැන් වලින් සමනය වෙමින් යළිත් පැදුරෙහි ඇවිත් වැටුණාය. නටන යකුන් පිළිබඳව මා තුළ එතරම් අවබෝධයක් නම් නොවීය .
එළිවෙන්නට පෙර යකා බැඳගන්නා බව ලාල් කීවේය. ඉන්පසු අමු සොහොනට ගොස් යකා මුදා හැර එන බව අමර මට කීවේය.
"අපිත් යමු අයියේ ගිහින් බලල එන්න"
" මොනවා කියලා බලන්න ද?
" සමහර විට අක්ක පරල වෙලා දුවාවි යකාව ආවේස කරන් සොහොනට . "
" අයියා කිව්වනේ බයවෙන්නෙ නැහැ කියලා"
" මම බය නම් නෑ ."
"එහෙනම් යමු." ඉතින් සැබවින්ම එක එල්ලේ මෙවැනි දේකට මුහුණ දීම බයට අභියෝග කිරීමකි. කිසිවක ගේ ඇත්ත නැත්ත ගැන දැනගැනීමට මට එතරම් අත්දැකීමක් නොවී ය. ලාල් මේ ගමන යන්නේ තමාගේ ජීවිතයත් අනතුරේ තබා යන කියමන මට කීප දෙනෙක්ම කියනු ඇසුනි . ඇතැම් විට යකා යන්නේ කට්ටඩියාවත් මරාගෙන යයි ඇතැමෙක් කියති .
මේ සියලුම හඬ අතරේ ඇහැපිය වෙන්නට ඇත. අමර ඇඟට අත තබත්ම මම තිගැස්සී ඇහැරුනෙමි.
"යන් අයියේ අර වැඩේට ලෑස්තියි." මම මුහුණ අතින් පිසදා නැගිට්ටෙමි . "අයියා දැක්කෙ නෑනේ අපේ අක්කා මිදුල පුරාම නැටුවා."
"නෑ:!" මම විමතියෙන් ඇසුවෙමි .
ඊළඟට අමර ට වෙන යමක් කියන්නට නොලැබින .වර්ණා ආවේසයෙන් අප සිටි කාමරයට දුව ආවාය .අප බයෙන් ගල්ගැසී බලා සිටියදී ඈ මහා ගොරෝසු හඬින් යමක් දොඩමින් මගේ බයිසිකලේ බිත්තිය ලඟින් උදුරාගෙන ඒ තල්ලු කරගෙන පිටතට දිව්වාය .අපිද ඒ අනුව එළියට දිව්වෙමු. ජීවිතයටම බයිසිකලයට අතවත් තබා නැති වර්ණා යම්කිසි ආවේශයකින් බයිසිකලය මිදුල වටා පැද්දාය. ලාලනි මැණිකේ මෙන්ම තවත් බොහෝ දෙනා බයට කෑ ගැසූහ. එහෙත් වර්ණනාට ඒ කිසිවක් ඇසුණේ නැත. ඇය වියරුවෙන් සිනාසෙමින් පිස්සියක් මෙන් වටේටම බයිසිකලේ පැද්දාය .ලාල් මැතිරූ වතුර ඇගේ ඇඟට දමා ගැසුවේය .එක්වනම බයිසිකලේ අතහැරි වර්ණා කටින් සෙම වගුරුවමින්, බිම ඇද වැටුණාය. ලාලනී මැණිකේ ඒ ළඟට දුවගියද වර්ණා ට අත තියන්නට බියෙන්දෝ වර්ණා !වර්ණා ! යැයි කෑගහමින් සිටියාය . ලාල් පැමිණ වර්ණාව නැගිට්ටුවේය. මමද අමරද අත් උදව් දුන්නෙමු. අප ඇයව පැදුර ළඟට ඔසවාගෙන එන විට තවත් කෑ ගැසීමක් ඇසින.
ආපසු හැරීමෙන් මට පෙනුණේ ආවේසයෙන් නටන ලාල් ගුරුන්නාන්සේ ය. යකා ඔහුට වැසී ඇති බව අමුතුවෙන් කිව යුතු නොවීය. එක්වනම ඔහු නූලකුත් අතින් ගෙන වත්ත පහළට දුවන්නට වුණේය. ශාන්ති කර්මයට පැමිණ සිටි කිහිප දෙනෙක් හා අප දෙදෙනා ද වත්ත පහළට දුවන්නට වුනි .
මහපාරට එළැඹි ගුරුන්නාන්සේ යමක් දොඩමින් දිව්වේ රාස්ස කැලේ අතටයි. එයට මෙපිටින් වූ ගුරු පාර දිගේ හති හලමින් අපි සියල්ලෝම දිවුවෙමු. අපේ පිරිස හත් අට දෙනකු පමණ ඇත. අඩ අඳුරේ කීදෙනෙක් දිව්වාදැයි සිහියක් නොවීය. අමු සොහොන වූයේ රාස්ස කැලෙන් පාර අනිත් පැත්තට වන්නය. ලාල් ගුරුන්නාන්සේගේ ඇහැට නොපෙනෙනා බලවේගයක් ඔහු සමග සටන් කරන්නා සේ පෙනුණි . එක්වරම ඔහු මහා හූවක් කියාගෙන බිම ඇද වැටුනේය. අපි හැම දෙනාම බය බිරාන්ත වී බලා සිටීමු. තවත් හූ හඬක් ඇසින. ඒ හඬ නැගුනේ කොහෙන්ද අද වෙනතුරුත් මම නොදනිමි . අවට මහා සුළඟක් හමා සොහොන් කැළේ වූ ගස්වැල් සෙලවිණි. මග දෙපස පිහිටි රූස්ස ගස් සුළඟින් සෙලවනු යන්තමට පෙනිණ . අනතුරුව තවත් එපිටින් හූ හඬක් ඇසින. නිවැරදීම එය ඇසුනේ රාස්ස කැලේ දෙසිනි. මගේ ගත හිරිගඩු පිපුණි. ලාල් ගුරුන්නාන්සේ නූලක් අල්ලාගෙන සොහොන් ගලක් ළඟ වැටී සිටියේය. ඔහුගේ දෑස් පියවිලාය. ලාල්ගේ ළඟ සිටියෙක් වතුර වගයක් ගුරුන්නාන්සේගේ මුහුණට ඉස්සේය .ගස්වැල් සියල්ල නිහඩ විය ..යළිත් ඈත හූ හඬක් ඇසුනි . අනතුරුව ඇසුණේ බකමූණෙකුගේ හුම්! හඩයි.
තව මද වේලාවකින් ගුරුන්නාන්සේ හිස සලමින් දෑස් හැර හිඳ ගත්තේය. ඔහුගේ මුහුණත් කඳත් දහදිය නෑවී තිබිණ.
"දැන් ඉතින් සේරම හරියයි ."ලාල් කියනු ඇසින." සියලු තෙරුවන් ගේ සරණින් සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්‍ෂාවෙන් " යැයි කියමින් ඔහු තවත් යමක් මැතිරුවේය . කෙනෙක් ගෙන ආ සුදු රෙදිකඩක් ලාල් ගුරුන්නාන්සේගේ දෙවුර වැසෙන්නට දැම්මේය.
පෙරදිග අහසේ ලා අළු එළිය පැතිරෙන්නට විය .අලුයම අතරේ අහසේ කුරුල්ලන්ගේ කිචි බිචි නාදය ඈතින් ඇසෙන්නට විය. කණ්ඩායම අනුව මම ද පෙරළා එන්නට ගුරු පාරට පැමිණීමු. මා රාස්ස කැලේ පැත්ත බැලුවේ නිකමටය .ලා කොළ පැහැ දෑසක් මට පැහැදිලිව දැකගත හැකි විය. තවත් ඒ දෑස මා දෙස රවා බලා සිටියේය.තවත් හොඳින් බැලූ විට මට උගේ ලා කොළ පැහැති කටුසු ශරීරය දැක ගත හැකි විය.දෑස් කඳුළින් පිරිලාය. අන් අය අනුව මම පය ඉක්මන් කලෙමි. එක් වරක් හැරී බැලුවත් ඌ පෙනෙන අහලක නොවීය.
Hii guyes 🤗💗,
ඔන්න තොවිලෙකුත් කරා. දැන් ඉතින් හැමදේම හරියයි 😁
නීලාවතී ලා අමර කිව්ව වගේ කරදරයක් ද?
බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා .🙂 ඉතින් ඒක දැනගන්න ඔයාලත් දිගටම කතාවත් එක්ක ඉන්න.😁❤️
Love you all 🥰🥰🥰
💀❤️