මේ සති අන්තයේ මට ගෙදරට යන්නට තරම් වත් ඇඟට ශක්තියක් නොතිබිණි. සිකුරාදා හවස් වන විට උණ බැස ගියද මාගේ ඇඟේ යම්කිසි තෙහෙට්ටු ගතියක් එකතු කර ගනිමින් බස්රියක නැගී කොළඹ නොයා යුතු බව ලාලනි මැණිකේ කීවාය. ඇත්තෙන්ම ගෙදර දී ලැබෙන තරමට සත්කාර මට නවාතැන්පලේදි ද ලැබිණ.....
බ්‍රහස්පතින්දාත්, සිකුරාදාත් දින දෙකේම අසලි මා බලන්නට ආවාය. ඒත් එදිනම ඇය පෙරළා ගියේ අමර සමඟිනි. ඇයට තනිවට කියමින් ගිය මේ ගමන්වලට ඔහු මගේ බයිසිකලේ ද රැගෙන ගියේය. සෙනසුරාදා උදේ වන විට මට උණ පහව ගොස් සුවය ලැබිණ. දවල් වරුවේ මට නාගන්නට කියා වර්ණා වතුර රත්කළ දුන්නේය .ඇය ද සුවයෙන් සිටිනු දැකීම මාගේ සිතට සතුටක් විය. පහුගිය දවස්වල සිදුවූ සිදුවීම්වලින් ඇයත් බොහෝ සේ පීඩා වින්දාය.
මටම කියා බන්ඩක්කා තෙම්පරාදුවකුත් හදා තිබුනද මම අනික් වෑංජනත් රස කරමින් කෑවෙමි. මගේ කෑම පිරිය ආදිය ද පෙර පරිදිම ඇති විය .
"අයියට උණ ගත්තෙ මොකකට හරි බය වෙලා නම් තමා" නදුනි විහිළුවටමින් කීවාය.
" නෑ නෑ ඕක කරගත්තෙ අපෙන් සාත්කාර ලබන්නට" වර්ණා කීවේ තමා ගෙලපැලැදි සුරය අතගාමිණි. ඇගේ ආරක්ෂාවට කියා ඇයට මේ අලුත් සුරේද ලැබී තිබිණ. ලෙඩ දුකින් තොර වූ ඇගේ මුහුණද නැවුම් බවකින් යුක්ත විය. මේ ගෙදර හැම දෙනාම දැන් සතුටකින් හැසිරෙන කතා කරන ආකාරය පැහැදිලිව දැක ගත හැකි විය.
උණ පහව ගිය මගේ සිරුරටද සැහැල්ලු දනවන සන්සුන් බවක් දැනුණි. මෙදින සවස් වරුවේ මගේ දුක සැප බලන්නට පැමිණියේ සේනකත්, බණ්ඩාරත්ය............... මා සති අන්තයේ මෙහිම රැඳෙන බව ඔවුන් දැනගෙන ඇත්තේ අසලිගෙනි. ඉස්තෝප්පුවෙන් පිටත කෙටි තාප්පයට බයිසිකල් හේත්තු කොට ආ ඔවුන් මා වෙනුවෙන් විස්කෝතු පැකට්ටුවක්ද ගෙනවිත් තිබිණ .
"මහත්තයා ලෙඩ වුණේ තොවිලේ නැටුවට පස්සේ. එහෙම හොඳද?" බණ්ඩාර ඇසුවේය. අපි තිදෙනා ඉස්තෝප්පුවට විත් කතාවට වැටුනෙමු.
"අසලි නෝනා මහත්තයා ගැන හරි කනස්සල්ලෙන් හැමතිස්සෙම කතා කලේ."බණ්ඩාර හෙළි කළේය. "සේනකට මං කිව්වා අපි ගිහින් බලලා එමු කියලා."
" මාත් මේ පැත්තට වැඩිය එවෙන්නෙ නෑ අපේ නැන්දා මැරුණට පස්සේ" සේනක වටපිට බලමින් කීවේය.
" මහත්තයට බයිසිකලෙන් කිසි කරදරයක් නෑනේ."සේනක ඇසුවේය.
"කරදරයක් මොකද රෝද දෙක කැරකෙනවනම් නේද මහත්තයා?" බණ්ඩාර විහිළුවක් කළේය.
"ම්ම් එක සැරයක් නම් රෝදයක් ගියා." මම කිවෙමි. මතකනේ?
" හරි හරි දැන් ඒ උනාට ලෙඩක් මොකවත් නෑ නේද ?" සේනක විපරම් කළේය .
"කිසිම ලෙඩක් නැහැ සේනක. මං තමා කරුමෙට ලෙඩ වුණේ"
" අපිට නොකිව්වට මහත්තයා මොකකට හරි බය වෙලා තියෙනවා. "බණ්ඩාර මා දෙස විමසුම් බැලුමක් හෙලී ය.
"එදා එළියේ අපි සොහොනට ගියේ එළිවෙන්නේ කිට්ටුවනේ, ඒ වෙලාවේ නම් හිතට යන්තම් බය ගතියක් දැනුනා. " කටුස්සා දුටු පුවත හෙළි කරන්නට මම මැළි වුනෙමි. එසේ කීවා නම් යකඩ වළලු පළඳින්න යැයි බණ්ඩාර යළිත් අවවාද දෙනු නිසැකය. එකම බෙරපදේ අසන්නට මා තුළ කැමැත්තක් නොවීය.
" මහත්තයාගේ මූණ ඉන්පස්සේ හීරුවේ නැහැ නේ?" බණ්ඩාර යළි ප්‍රශ්න නැගීය.
" නෑ නෑ දැන් ඒවා සේරම හරි."
" මං කිව්වෙ අර වගේ කෙනෙක්ගේ බැල්ම තියෙනකොට ඒ බැල්මට අවනත වෙනකල් ඕක වෙන්න පුළුවන්" බණ්ඩාරගේ කතාවට මට අසලි සිහි විය .බදාදා රාත්‍රී මා සැබවින්ම ඇයට අවනත වුණාද ?අඩ නින්දේ උනෙන් පෙළෙමින් සිටි මා අවදි වූයේ ඇගේ පහසෙනි. ඈ මගේ රෙදි පිළි සැකසු අන්දම මට යන්තමට මතකය. ඈ මා සමග කොතෙක් වෙලා අඩ අඳුරේ කාමරේ සිටි දැයි මට පැහැදිලිව මතකයක් නැත. මගේ මුහුණේ සීරීම් ලකුණු වලට වගකිය යුත්තේ අසලි නම් ඈ මගෙන් ආශාව සපුරා ගත්තේ නම් මා තවත් බිය විය යුතු කුමටද?
මගේ සිතුවිල්ලට බාධා කරමින් නදුනි තේ බන්දේසියක් රැගෙන ආවාය. යමක් කියමින් සිටි සේනකද කතාව නවතා ඇය දෙස බැලුවේය. බණ්ඩාරගේ දිනෙතද නදුනි වෙත යොමු විය. ඇත්තෙන්ම මේ සඳ එළියේ නදුනිගේ අහිංසක මුහුණ ඉතාම ලස්සනට පැහැදිලිව පෙනුණි. නදුනි යන්තමට හිස ඔසවා බලමින් අමුත්තන්ට තේ බන්දේසිය පෑවාය.
" බබාට දැන් වයස කීයද?" සේනක තේ කෝප්පෙ ගනිමින් ඇසීය .
"දොළහයි" නයනා පහත් හඬකින් ලැජ්ජාවෙන් මෙන් කීවාය.
" බබෙක් නෙමෙයි . පොඩි නෝනෙක් නේද ? " බණ්ඩාරද තේ කෝපය ගනිමින් විහිළුවක් කළේය.
ඔවුන් දෙදෙනාම ඇය දෙස බලා සිටියේ යම්කිසි කල්පනාවකට වැටුණු කලෙක මෙනි. ඇය මටත් තේ කෝප්පය දී ගේ අතට යද්දි ඔවුන්ගේ දෑස් ඇයව හඹා ගියේය.
"හරිම සීදේවි පොඩි නෝනා"
බංඩාර තේ උගුරක් බී කීවේය. සේනක කල්පනාවකින් නිහඬ විය.
"මහත්තයට කියන්න තව කාරණාවක් තියෙනවා. "බණ්ඩාර රහසින් කීවේය . "තේක බීලා.... මිදුලට යමු ඒක කියන්න" මා තුළ කුතුහලය වැඩි විය. තව මදවේලාවක් කතාබහ කරමින් සිටි ඔවුන් මිදුලට බසිද්දී මමද ඒ අනුව ගියෙමි .
"මොකක්ද බණ්ඩාර කාරණේ ?" පාර අතට යමින් මම ඇසුවෙමි.
" අර පොඩි නෝනගේ වයසේ අය ඉන්න සමහර ගෙවල්වල එක එක පෙරලිකාල දේවල් වෙනවා. ඒකයි මං කියන්න හිටියේ."
" ඔය වගේ කතා මාත් අහලා තියෙනවා ඕකට වචනයක් තියෙනවා බණ්ඩාර " කලකට ඉහත බැලූ චිත්‍රපටයක් මට සිහිපත් විය.
"මොන චිත්‍රපටියක්ද මම දන්නේ නෑ මහත්තයා .හැබැයි ඔය ලොකු වේගෙන එන ළමයින්ගේ තියෙනවා යම්කිසි බලවේගයක්. ඒ ගොල්ලන්ටත් නොදැනී ඒගොල්ලෝ යම් යම් දේවල් කරනවා."
කාමරයෙන් සාලයට ගිය තේ කෝප්පය මට මතක් විය. එය අඩක් බී එයට පස්දැමුවේ නදුනි විය නොහැකිද? එතකොට පිරිත් පොත එහෙම ගෙනත් දුන් ඇයම පිරිත් පොත විසි කරන්නට ඇත්ද? සවීනීගේ සේයාරූව ඉරා දැමුවේ ඇය විය නොහැකිද?
" මොකක්ද මහත්තයා කල්පනාව?" බණ්ඩාර මගේ නිහඬ බව දැක විමසුවේය.
" නෑ නෑ මට දැන් මතක් උනේ මේ ගෙදර වෙච්ච දේවල් කීපයක්. ඒ වුණාට තව දේවල් තියෙනවා. මට ඒ විදියට ඔප්පු කරන්න බැරි උන"
"එහෙමනම් මහත්තයා බලවේගයකට වඩා ඇති" බණ්ඩාර තර්කයක් ගෙන පෑවේය.
"ඒකත් වෙන්න පුළුවන්" යයි කතාව අනුමත කළේ වැඩි කතාබහක් නොකළ සේනකය.
දෙදෙනා පාරට එළඹ බයිසිකල් වල නැගී මොරගහ හන්දිය අතට යනු මම බලා සිටියෙමි. ඔවුන්ගේ ජීවිත කෙතරම් සරලද? උදේ බැංකුවේ වැඩට යන ඔවුන් සවස ගෙදර යති. දරු පවුල් රකිති. මාරුවක් ගැන සිතන්නට ,ප්‍රමෝෂන් ගැන සිතන්නට ඔවුන්ට හේතුවක් නැතිව ඇත. මට තරම් අසහනයක් ඔවුන්ගේ උපේක්ෂා සහගත ජීවිතවල නොවී ය. සුදුසරම් කමිස ඇඳගත් ඔවුන් දෙදෙනා බයිසිකල් පදවාගෙන ගියේය. එය ඇත්තෙන්ම මොවුන් ජීවිතය ගැන ගැඹුරට නොසිතුවද ඉතා නැනවත් වීයයි මට මේ මොහොතේ සිතින.
බණ්ඩාර නදුනිව දැක්මෙන් ගෙනා අදහස සත්‍ය විය නොහැකිද? මා අතීතයේ බැලූ පෝල්ට ගයිට්ස් යන ජර්මන් වචනයක් ගෙනදෙන චිත්‍රපටයේ අරුත පෙරළිකාර හෝ හඬ නගන යන ආත්මයක් යනුයි. 1900 බර ගණන් වල මුලදී යොදාගත් මේ වචනය වෙනුවට අදත් වෙන වචනයක් යොදාගන්නා බවද මම කියවා ඇත්තෙමි. ඉබේ යළි යළි සිදු වන ක්‍රියාවන්හි භෞතික බලවේගයක් තොරව යමක් එහා මෙහා කිරීම් සිදුවේ යැයි එහි සඳහන් වේ. ඉතින් නදුනිත් එවන් බලවේගයකින් තේ කෝප්පය එහා මෙහා කරන්නට ඇත්ද? ..........................................
එහෙත් ගේ අතට එමින් සිටි මා ඉස්තෝප්පුව අසල බලා සිටි නදුනිගේ අහිංසක සිනහව දකිද්දී මට එය එසේ යැයි විශ්වාස කිරීම අපහසු විය .එහෙත් සවීනීගේ සේයාරුව ඉරා දැමීම මා කාගෙන් හෝ ඇසිය යුතු වූ අතර මේ එයට හොඳම අවස්ථාව විය.
"නංගි මේ එන්නකො. වෙච්ච වැඩක් කියන්න ?"
"මොකක්ද අයියා ?"
"මෙහෙන් වාඩි වෙමුකෝ .මේ ඉස්තෝප්පුවෙන්?"
" ඉතින් කියමුකෝ." ඉස්තෝප්පුවෙන් වාඩිවූ ඈ හරි බරි ගැහෙමින් ඇසුවාය.
"නංගි හරි වැඩේ වුනේ. මගේ පින්තූරයක් තිබුණ ඔයාට පෙන්නුවා මතකද?"
"ඔව් ඔයාගේ ගෑණු ළමයාගේ නේද? "
"ඔව් නංගි. කවුද ඒක ඉරලා දාලානේ"
" නෑ!. ඒක .කොහෙදිද ?"
"ඒක තමයි. ඒක තිබුණේ මේසේ කඩදාසීය යට"
" මං නම් දැක්කේ නෑ අයියේ "
" මං හිතන්නේ පිරිත් පොත ගෙනිහින් විසි කරපු බහිරවයම ඒක කරන්න ඇති. "
"ඇයි එතකොට අයියගේ කෝපි කෝප්පෙ මතකද ? "ඇයම මෙය ඉස්මතු කළාය .
"ඒකත් හරි. මින් පස්සේ නම් එහෙම දේවල් වෙන එකක් නෑ නේද?"
" මං හිතන්නෙ නෑ අයියා .දැන් මේ ගෙදර ආරක්ෂාවක් කරලනේ තියෙන්නේ. අපේ අක්කට වැහිලා හිටිය යකා ගියානේ"
" ඔව් නංගි අපි එහෙම හිතමු"
ලාලනී මැණිකේගේ හඬ ගෑමෙන් නදුනි ගෙතුළට දුව ගියාය.
මෙයින් පසු ටික කලක් යනතුරුම අසාමාන්‍ය සිදුවීම් මේ අවට නොවීය. එහෙත් ඒ සංසුන් බව කුණාටුවක පෙරනිමිත්තක බව අප කවුරුත් නොදැන සිටියෙමු.
****
Hii reader's 😁✌️
නදුනි බණ්ඩාර කිව්වා වගේ මේ දෙවල් වලට සම්බන්ධද ?🤔
අසලි ද දනුක ගේ මූණ හීරුවේ?👀
තොවිලෙන් පස්සේ හැමදේම හොදින් කිව්වට එහෙම නෑ වගෙ නේද ? 🙂👀
ඉතිං ඔයාලටත් මේ දේවල් වලට මොනාද හිතන්නෙ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.
අලුත් එපියකින් හම්බෙමු. 🤗💗
💀🩸