⚡ - The Chase - ⚡
Chapter 21
ඒ කියන්නේ සෝහිගේ මරණෙට සාහෝගෙ සම්බන්දයක් නැද්ද...??"
"කිව්වේ නම් එහෙම තමයි..."
යීබෝ වොශ් එකක් දාගෙන ආවට පස්සේ ශාන් යීබෝගේ තුවාලෙට බෙහෙත් දාන්න වුනා. වෙන් සාහෝගේ නිවසට ගිය වෙලාවේ ඉදන් සිද්ද වුනු දේවල් එකක් නෑර යීබෝ ශාන්ට විස්තර කරද්දි ශාන් නිහඩව යීබෝගෙ අතට බෙහෙත් දාලා බැන්ඩේජ් එකකින් එතුවා. අතට බෙහෙත් දාලා ඉවර කරපු ශාන් අංතිමේදි යීබෝ දිහා බැලුවා.
"ඔය ජේ කේ කියන එකා ගැනත් විස්තර ටිකක් හොයලා බලමු... කිසිම දෙයක් කරේ නෑ කිව්වට සාහෝ ගැනත් ඇහැ ගහගෙන ඉන්න වෙයි..."
ශාන් කල්පනාවෙන් කියද්දී යීබෝත් ශාන්ට එකඟ වෙමින් ඔළුව ඉහල පහල වැනුවා.
"ඔයා මට නොකිව්ව තව මොනවාහරි දෙයක් තියනවද බෝ...?"
ශාන් අහපු දේ නිසා යීබෝ ඉක්මනින් ශාන් දිහා බලද්දි ශාන් යීබෝගේ මූණ දිහාම බලාගෙන හිටියා. සෝහි සම්බන්දව සාහෝගෙන් දැනගත්ත හැම විස්තරයක්ම යීබෝ ශාන්ට කිව්වත්, එයාගේ මමායි පපායි ගැන සාහෝ කියපු කිසි දෙයක් යීබෝ ඒ වෙලාවෙදි කිව්වෙ නෑ.
මමායි පපායි ගැන සාහෝ කියපු දේවල් නිසා අවුරුදු හතකට කලින් තුවාල උනු යීබෝගේ හිත ආයිත් පෑරිලා තිබුනා. යීබෝ මොකක් හරි හේතුවක් හිතේ තියාගෙන දුකින් ඉන්න බව තේරුනු නිසා ශාන් යීබෝගේ ඇස් දිහා බලාගෙනම කතා කලා.
"සෝහිගේ මරණෙට සාහෝ සම්බන්ද නෑ කියලා දැනගත්ත එක දුක් වෙන්න දෙයක් නෙමෙයිනේ... මම දන්නවා උබ වෙන මොනවාහරි හිතේ තියාගෙන ඉන්නෙ කියලා... උබට කියන්න බැරි නම් කමන්නෑ... කොහොමත් මම උබේ කදුරුත් නෙමෙයිනේ..."
ශාන් බෙහෙත් බඩු පෙට්ටියත් අරගෙන සෝෆාවෙන් නැඟිටින්න හදද්දී යීබෝ ශාන්ගේ අතින් අල්ලගෙන ශාන්ව නවත්තගත්තා. 'හිතේ තියන දේ කියන්න' වගේ බැල්මකින් යීබෝ දිහා බලාගෙන ශාන් ආයිත් සෝෆාවෙන් ඉදගත්තා.
"සාහෝ කියනවා... එයා මගෙ මමාවයි පපාවයි ම..රන්න හිතුවේ නෑ...ලු..."
අංතිම වචන කීපය කියද්දී යීබෝගේ හඩ බිදුනා. ඇස් වලින් කඳුළු බිදු මතුවෙද්දී යීබෝ ඉක්මනින් බිම බලාගත්තා.
"මරන්න හිතුවේ නෑ කියන එකේ තේරුම මොකද්ද බෝ... ඒ ඇක්සිඩන්ට් එකටත් සාහෝගේ සම්බන්දයක් නෑ කිව්වද..."
යීබෝ කියපු දේ ශාන්ට පැහැදිලිව තේරුම් ගන්න බැරි උන නිසා ශාන් කුතුහලයෙන් අහද්දී යීබෝ නෑ කියන්න ඔළුව දෙපැත්තට වැනුවා.
"ඇක්සිඩන්ට් එක ක..රලා තියෙන්නේ සාහෝ තම..යි... මාස දෙක තුනක් ඇඳකට වෙලා.. ඉන්න වැඩේ කරවන්..නලු ඕන උනේ... ඒ...ත් නොහිතපු විදිහට මමා..යි ප..පායි මැ..රු..නලු..."
"ඒ *#*@# එහෙම කිව්වද... ඌ මහ තිරිසනෙක්නේ... ඇක්සිඩන්ට් එක කරවලා මරන්න හිතාගෙන කරේ නෑ කියන්නේ... කරපු දේ ගැන ලැජ්ජාවක් පසුතැවීමක් නැද්ද... උබට කේන්ති ගිය එක සාධාරණයි... මට අහු උනා නම් මම ඕකව එතනම මරනවා..."
යීබෝ කියපු දේ නිසා සාහෝ ගැන ඇතිවුනු කේන්තියට ශාන් එක දිගට කියවගෙන ගියත් යීබෝගෙන් කිසිම හඩක් නැති නිසා ශාන් යීබෝ දිහා බැලුවා. හීබෝ හිටියේ බිම බලාගෙන.
ඇඩුවේ නැති උනත් යීබෝ අමාරුවෙන් වේදනාව දරාගෙන ඉන්න බව ශාන්ට තේරුනා. ශාන්ගේ අත හිර වෙන්න අල්ලගෙන ඉන්න යීබෝගේ අත උඩින් ශාන් එයාගේ අනිත් අත තිබ්බා.
"මට උබට දුක් වෙන්න එපා කියන්න බැහැ... අපි කොහොම හරි මේ ප්‍රශ්න ටික විසදගමු... මමාටයි පපාටයි සිද්දවුන දේත් හොයාගමු... උබේ ඕනම දේකට මම උබත් එක්කම ඉන්නවා..."
" හැබැයි ඉතින් අද කරපු දේට නම් මන් උබත් එක්ක තරහයි... මාව දාලා තනියම ගියා මදිවට, උදේ මට බොරුවකුත් කිව්වා ඔෆිස් එකට යන්න ඕනේ දවල් වෙලා කියලා..."
මුලදී හඟීම්බර හඩින් කතා කරපු ශාන් යීබෝගේ හිත හදන්න හිතාගෙන අමනාප මූනක් මවාගනිමින් අංතිම වාක්‍ය කීපය කිව්වා.
"මට සමාවෙන්න බනී..."
රතු උනු ඇස් වලින් යීබෝ ශාන් දිහා බලලා පහත් හඩින් කියද්දී ශාන්ගේ පපුවත් වේදනා දෙන්න වුනා. ශාන් හිනා වෙලා ලෙංගතු විදිහට යීබෝගේ කර වටේට අතක් දාගත්තා.
"දැන් ඒ දේවල් වෙලා ඉවරයිනේ... ආයිත් එහෙම කරන්න එපා... කරන්න වැඩකුත් නැති එකේ... කුකීස් ටිකක් හදමුද..."
ශාන් යීබෝගේ මූණට එබිලා අහද්දී යීබෝ කඳුළු පිරුනු ඇස් වලින්ම හිනා වෙලා ඔළුව ඉහල පහල වැනුවා.
"හදන්න උදව් කරොත් විතරයි කන්න හම්බවෙන්නේ අද... ඊට කලින් උබ දවල්ට කාලා ඉන්න ඕනේ හොදද..."
ශාන් කතා කරමින් සෝෆාවෙන් නැඟිටලා කිචන් එකට යද්දී යීබෝත් ශාන්ගේ පස්සෙන් කිචන් එකට ගියා.
"තව වතුර ටිකක් දාන්න බෝ... හෝව්... ඇති...ඇති..."
"ඔහොම නෙමෙයි... මෙන්න මෙහෙම... එක රටාවකට පිටි ටික අනන්න ඕනේ..."
"ඔය වැඩේ ඔයාට බැහැ බෝ... ඉන්න මම කරන්නම්..."
"අපි කුකීස් වලට රටකජු නොදා ඉමු නේද... මම ඒ රහට කැමති නෑ..."
"ඔය පිටි ටිකක් දාන්න බෝ... හෝව්... හෝව්... ඔය කලේ ඉතින්... උබ පිටි පැකට් එකේ තිබ්බ සේරම ටික හැලුවනේ බං... දැන් ඉතින් තව වතුර ටිකක් දාපං..."
"ආමන්ඩ් ටිකයි කජුයි පොඩි පොඩි කෑලි වෙනකම් බ්ලෙන්ඩ් කරන්න බෝ..."
"අර චොකල්ට්ස් ටික ගන්න බෝ... පොඩි කොටු කොටු හිටින්න ඔය ටික කපන්න පුලුවන්ද..."
"ඔය විදිහට තුනී කරොත් කන්න වෙන්නෙ කුකීස් නෙමෙයි පපඩම්... දෙන්නකෝ මම කරන්නම්..."
ශාන්ගේ බල කිරීමට දවල්ට කෑම කාලා යීබෝත් ශාන්ට උදව් කරන්න පටන් ගත්තා. ශාන් කියන කියන හැම වැඩේම කලත් වෙනදා වගේ ශාන් එක්ක කියවන්නවත් විහිලු කරන්නවත් හිතක් යීබෝට තිබුනේ නෑ. යීබෝ නිහඩව ශාන් කියන කියන දේ කරද්දී ශාන්ගේ කියවිල්ලයි විහිලුයි නිසා කුකීස් ටික හදලා ඉවර වෙද්දී යීබෝගේ හිතත් හැදිලා තිබුනා.
.
.
.
.
.
.
"ජේ කේ කියන්නේ... මොනතරම් වැරදි කලත් නීතියට කොටු කරගන්න බැරි උන මිනිහෙක්... පාතාලේ හොද තැනක් හදාගෙන ඉන්නේ... මිනීමැරුම්, ආයුධ ජාවාරම්, පැහැරගැනීම්, මත්ද්‍රව්‍ය වෙළදාම... කරන්න තියන හැම ජරා වැඩක්ම කරනවා... හබැයි මිනිහා එක තැනකදිවත් සාක්ශි ඉතුරු කරන්නේ නෑ... මිනිහා කරන දේවල් ගැන හමෝම දන්නවා උනත් පැහැදිලි සාක්ෂි නැති හින්දා මේ වෙනකම් ජේ කේට විරුද්ධව නීතියෙන් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ..."
ශානුත් යීබෝත් ඊළඟ දවසේ උදෙන්ම ජේ කේ ගැන විස්තර දැනගන්න ශාන්ගේ යාළුවා, oic බින්ගේ නිවසට ගියා.
"මමනම් කියන්නේ... ඒ කෙල්ලගේ මරණෙට ජේ කේ සම්බන්දයි නම්, උබලා ඒ ගැන විස්තර හොයන එක නවත්තන්න... ජේ කේ කියන්නේ උබලා වගේ සාමාන්‍ය මිනිස්සුන්ට හැප්පිලා දිනන්න පුලුවන් විදිහේ මිනිහෙක් නෙමෙයි..."
පොලිස් මූලස්ථානයට යන්න සූදානම් වී ශානුත් යීබෝත් ලඟට ආව බින් ස්ථිර හඩින් කිව්වා.
"එහෙමයි කියලා අපිට මේ දේවල් නිකම්ම අතාරින්න බැහැ බිනා... ජේ කේ මේ දේවල් වලට සම්බන්දයිද කියන්න අපි තාම හරියටම දන්නෙ නැහැ... ජේ කේ මේ දේවල් වලට සම්බන්ද උනත් සෝහිගේ අංතිම ඉල්ලීම මට නිකම්ම අමතක කරලා දාන්න බෑ..."
යීබෝත් ශානුත් හිටියේ බින්ගේ නිවසේ සෝෆාවේ ඉදගෙන. බිනුත් ශානුත් කතා කරද්දි යීබෝ නිහඩව ඒ දේවල් අහගෙන හිටියා. මමාගෙයි පපාගෙයි මරනෙට ජේ කේ කියන කෙනත් සම්බන්ද බව දැනගෙන හිටිය නිසා මොනතරම් අවදානම් උනත් යීබෝටත් ජේ කේ ගැන හොයාගන්න ඕන වුනා.
"උබට අපි හින්දා යන්නත් පරක්කු වෙනවා... විස්තර කිව්ව එක ලොකු උදව්ව්ක් බිනා... අපි දැන් යන්නම්..."
ශාන් සෝෆාවෙන් නැඟිටිද්දී යීබෝත් ඒත් එක්කම සෝෆාවෙන් නැඟිට්ටා.
"මොනවා කරත් උබලා පරිස්සමින්... උදව්වක් ඕන උනොත් හිත හිත ඉන්නෙ නැතුව මට කතා කරපන්..."
බින්ට සමුදුන් දෙදෙනාම කාර් එකෙන් ගෙදරට එන්න පිටත් වුනා.
"සෝහිගේ මරණෙට ජේ කේ සම්බන්දයි කියලා හරියටම දැනගත්තොත් ඔයා මේ වැඩෙන් අයින් වෙන්න බෝ..."
විනාඩි පහලවක් විතර නිහඩව කාර් රථය පැදවූ ශාන් පාර දිහා බලාගෙන කියද්දී යීබෝ සැනින් ශාන් දිහා බැලුවා.
"මොනවද බන් කියන්නේ... උබ හිතුවද බින් කියපු දේවල් හින්දා මම බය වෙයි කියලා..."
"එහෙම නෙමෙයි බෝ... උබව මේකට ඇදලා ගත්තෙත් මමනේ... ඉතින් මම කැමති නෑ උබට කරදරයක් වෙනවට..."
ශාන් යීබෝට පැහැදිලි හඩින් කියද්දී යීබෝ ශාන් දිහා බලාගෙන හිනා උනා.
"බනී... සෝහි කියන්නේ මගෙ හිටපු girlfriend... එයාට ඒ වගේ දෙයක් වෙලා තියෙන්නේ මං හින්දා කියලයි මට හිතෙන්නේ... ඒ සේරටමත් වඩා ඔය ජේ කේ කියන එකා මගෙ මමාගෙයි පපාගෙයි මරණෙට සම්බන්දයි... ඉතින් උබ මේ වැඩේ නැවැත්තුවත්, මම ඌව හොයන එක නවත්තන්නෙ නෑ..."
යීබෝ ස්ථිර හඩින් කියද්දී යීබෝගේ තීරණේ වෙනස් නොවෙන බව තේරුම් ගත් ශාන් නිහඩව කාර් රථය පදවන්න වුනා.
තවත් ටික දුරක් නිහඩව කාර් රථය පැදවූ ශාන් කාර් එක පාර ආයිනට කරලා නැවැත්තුවා.
"ෆෝන් එකේ පැකේජ් එක ඉවරයි බෝ... හදිස්සියකට කෝල් එකක් ගන්නවත් නෑනේ... මම ඉක්මනට දාලා එන්නම්..."
හේතුවක් නොකියා ශාන් කාර් එක නවත්තපු නිසා යීබෝ කුතුහලයෙන් ශාන් දිහා බලද්දී ශාන් එහෙම කියලා කාර් එකෙන් බැස්සා.
පාර මාරු වෙලා කඩ සාප්පුව දිහාවට ඇවිදගෙන යන ශාන් දිහා යීබෝ බලාගෙන ඉද්දී යීබෝවත් පහු කරගෙන ඉදිරියට ඇදුනු කැබ් රථයක් හරවගෙන ඇවිත් ශාන් ගිය වෙළදසැල ඉස්සරහින්ම නැවැත්තුවා. මුලදි ඒ ගැන යීබෝ වැඩි අවදානයක් නොදුන්නත් කැබ් රථයෙන් හැඩි දැඩි පිරිමින් තුන් දෙනෙක් බිමට බහිද්දී හිතට ඇතිවුනු සැකය නිසාම යීබෝත් ඉක්මනින් කාර් එකෙන් එළියට බැස්සා. කැබ් රථයෙන් බැහැපු තුන් දෙනා යීබෝ දිහාත් බලද්දී යීබෝගේ සැකය තවත් වැඩි වුනා.
කැබ් රථය නිසා ශාන් ගිය වෙළඳසැලේ ඇතුල්වීමේ දොර යීබෝට පෙනුනෙ නෑ. යීබෝ කැබ් රථය නිසා ආවරණය වෙලා තියන වැළදසැල පේන විදිහට අඩි කීපයක් පස්සට ආවා.
ශාන් වෙළඳසැලෙන් එළියට ආවේත්, හැඩි දැඩි පිරිමින් තුන් දෙනා වෙලඳසැල දිහාට ඇවිදගෙන යන්න උනෙත් එකම වෙලාවෙදියි, ශාන් ගැන හිතට දැනුනු බය නිසා යීබෝත් ශාන් දිහා බලාගෙනම පාර මාරු වෙන්න හැදුවත්, ඒත් එක්කම.....
"යීබෝ... මොකද මෙතන නැවතිලා..."
පොලිස් ජීප් රථය යීබෝ ඉස්සරහින් නවත්තපු බින් ජීප් රථයෙන් එලියට ඔළුව දාලා ඇහුවා.
"ආ... මේ ශාන් එහා පැත්තේ තියන ශොප් එකට ගියා බින්..."
බින් අහපු දේට යීබෝ උත්තර දෙද්දී කලු පැහැති කැබ් රථය වේගයෙන් ඉවතටයන හැටි යීබෝ දැක්කා. ඒත් එක්කම ශානුත් යීබෝ ලඟටම ඇවිල්ලා හිටගත්ත නිසා යීබෝගේ නොසන්සුන් හිත සන්සුන් උනා.
"හරි එහෙනම්... මම යනවා මචංලා..."
ශාන් හිනාවෙලා බින්ට සැලියුට් එකක් ගහද්දි පොලිස් ජීප් රථය වේගයෙන් ඉදිරියට ඇඳුනා.
.
.
"කෙලින්ම කැම්පස් එකට යමු බනී... මම ඔයාව කැම්පස් එකෙන් දාගෙන ගෙදර යන්නම්..."
යීබෝ අද ඔෆිස් යන්නේ නැති බව කියපු නිසා යීබෝව ගෙදරින් ඇරලවලා ශාන් කැම්පස් යන්නට දෙදෙනාම කතිකා කරගෙන තිබුනත් මගක් දුරට යද්දී යීබෝ කිව්වා.
ටික වෙලාවකට කලින් සිද්දවුනු සිදුවීම නිසා යීබෝගේ හිතට මොකද්දෝ බයක් දැනුනා.
"""උංගේ පෙනුම මට ඇල්ලුවේ නෑ... උං ආවේ අපි පස්සෙන් නම්, බනීව තනියම කැම්පස් යවන එක පරිස්සම් නෑ... එයාව කැම්පස් එකට දැම්මම මගෙ හිතටත් බයක් නෑනේ... හවසටත් ගිහින් එක්කගෙන එනවා..."""
"ඕනේ නෑ බෝ... එතකොට මාව ගන්න ආයිත් ඔයාට එන්න වෙනවනේ..."
"ගෙදරින් මොනවා හරි ගන්න තියනවද බනී..."
ශාන් කියපු දේ ඇහුනේ නැති ගානට යීබෝ ශාන්ගෙන් තවත් ප්‍රශ්නයක් ඇහුවා.
"ඕන කරන දේවල් ටික නම් මම උදේම කාර් එකට දාගත්තා..."
"ම්න්... එහෙනම් කෙලින්ම කැම්පස් එකට යන්න..."
යීබෝ ස්ථිර හඩින් කියද්දී ශාන් යීබෝ දිහා බැලුවා.
"බෝ... මම ඔයාව ගෙදරින් දාගෙන යන්නම්... නිකන් බොරුවට ඔයා හවසට..ත් එන්..න ඕනෙ නෑනේ..."
ශාන් කතා කරලා ඉවර වෙන්නත් කලින් යීබෝ ශාන් දිහා බලලා රැව්ව නිසා අංතිම වචන කීපයේදී ශාන්ගේ හඩ බාල උනා.
"හවසට එන්න පුලුවන් හින්දනේ මම කිව්වේ... විකාර නැතුව කෙලින්ම කැම්පස් එකට යමන්..."
"""ඒ පාර මේකට මොනවා වෙලාද... මම වැරැද්දක් කරා වගේනේ හරියට රවන්නේ... එයා ගැනම හිතලා ගෙදරින් දාගෙන යන්න හැදුවම මට කෑ ගහනවා..."""
යීබෝගේ රැවිල්ලට නොදෙවනි වෙන්න යීබෝ දිහා බලලා රවපු ශාන් නිහඩව කැම්පස් එකට යන පාරට කාර් එක හැරෙව්වා.
.
.
"මේ පැත්තෙන් දාල යන්න බෝ... එතකොට ලඟයිනේ..."
කැම්පස් එක ලගදී ශාන් කාර් එකෙන් බහිද්දී යීබෝත් කාර් එකෙන් බැස්සා. ශාන් අත දිගු කරලා පෙන්නුවේ කැම්පස් එක ලඟින්ම තියන අතුරු පාර.
"හ්ම්ම්... හරියටම තුන වෙද්දී මම එනවා බනී... මම එනකම් කැම්පස් එකේම ඉන්න... පරක්කු වෙනවානම් මට කෝල් එකක් දෙන්න..."
ශාන් දිහා බලාගෙනම කිව්ව යීබෝ ඩ්‍රයිවින් සීට් එක පැත්තේ දොර අරින්න හදලා ආයිත් නැවතිලා ශාන් දිහා බැලුවා. යීබෝ ශාන්ගේ මූණ දිහාම බලාගෙන ඉන්නවා දැකපු ශාන් ඇස් වලින් යීබෝගෙන් ඇයි කියලා ඇහුවා.
"පරිස්සමින් ඉන්න බනී... තුන වෙද්දී මන් එන්නම්..."
"බින්ගේ ගෙදර ගිහින් එන වෙලාවෙ ඉදන් උබ හරි අමුතුයි බෝ..."
පරීක්ශාකාරී බැල්මකින් යීබෝ දිහා බලමින් ශාන් කියද්දී යීබෝ නිහඩව කාර් එකට නැග්ගා.
"පරිස්සමින් ගිහින් එන්න බෝ..."
කාර් එකේ කවුළුව ලඟට පාත් වෙලා ශාන් කියද්දී යීබෝ ශාන් දිහා බලලා ඔළුව වැනුවා.
සයිඩ් කණ්නාඩියෙන් පේන ශාන්ගේ රූපය නොපෙනී යනකම් ඒ දිහාම බලාගෙන කාර් එක පදවපු යීබෝ ශාන් පෙන්නපු අතුරු පාරට කාර් එක හැරෙව්වා. ඒ පාර යීබෝ නොදන්න පාරක් නෙමෙයි. අවුරුදු හතකට කලින් සෝහිත් ශානුත් යීබෝත් හිනාවෙමින් උදේ දවල් එහෙ මෙහෙ ගියෙත්, සෝහිට මැර කල්ලියක තර්ජන එල්ල උනේත් ඒ පාරෙදියි.
ශාන්ව කැම්පස් එක ලඟටම ගිහින් දාපු නිසා යීබෝගේ හිතට සැහැල්ලුවක් දැනුනා ලොකු හුස්මක් පිටකරලා හිතේ තිබුනු බය සැහැල්ලු කරගත් යීබෝ මධ්‍යම වේගයකින් කාර් රථය පදවගෙන ගියත්, අතුරු පාරේ තවත් ටිකක් ඉදිරියට යද්දී යීබෝ දැක්කේ නිල් පැහැති කාර් රථයක් ලඟ හිටගෙන ඈතින් එන යීබෝගේ කාර් එකට අත දිගු කරගෙන ඉන්න කාන්තාවක්.
අතුරු මාර්ගයේ දෙපැත්තේම තිබුනේ උසට ගස් වැවුනු හිස් ඉඩම්. ඉදිරියෙන් පේන රුව දකිද්දී යීබෝගේ හිතට සැකයක් දැනුනත් මිනිස් වාසයක් නැති පාලු පාරේ තනියම ඉන්න කාන්තාවක් කාර් එකට අත වනද්දී නොදැක්ක විදිහට යන්න බැරි නිසා යීබෝ පාර අයිනට වෙලා යීබෝගේ කාර් එක දිහාම බලාගෙන ඉන්න කාන්තාව ලඟින් කාර් එක නැවැත්තුවා.
"අනේ මිස්ටර් බලන්නකෝ... එක පාරට කා එක නැවතුනානේ මොනවා උනාද මන්දා... තව පැය භාගෙකින් මට ඉන්ටවීව් එකකටත් යන්න තියනවා... මිස්ටර්ට කරදරයක් නැත්තම් පොඩ්ඩක් බලන්න පුලුවන්ද..."
යීබෝගේ කාර් එක ලඟට ඇවිත් පහත් වුනු කාන්තාව යීබෝ දිහා බලාගෙන කනස්සලු හඩින් කියද්දී යීබෝ නිහඩව කාර් එකෙන් බැස්සා.
"අනේ ලොකු උදව්වක් මිස්ටර්... මම දැන් ගොඩ වෙලාවක ඉදන් කවුරු හරි එනකම් මෙතනට වෙලා හිටියේ..."
"""ගොඩ වෙලාවක ඉදන් මෙතන නම් වාහනේ හදන්න කෙනෙක්ව කෝල් කරලා ගෙන්න ගන්න එපැයි..."""
හිතින් එහෙම හිතුවත් යීබෝ නිහඩව නිල් පැහැති කාර් රථය ලඟට ගිහින් කාර් රථයෙ ඉදිරිපස බොනට්ටුව ඇරියා.
"මෙතන නම් පේන්න ගැටලුවක් නෑ මිස්... ආයිත් පාරක් කාර් එක ස්ටාර්ට් කරන්න බලන්න..."
කාර් රථය ඉදිරිපස කොටසට ඔළුව පහත් කරගෙන විනාඩි කීපයක් පරීක්ශා කරපු යීබෝ ගැටළුවක් ඇති තැනක් හොයාගන්න බැරි වුනු නිසා කතා කරමින්ම කාර් රථය ලඟ කෙලින් වෙලා පිටිපස්සෙන් ඉදපු කාන්තාව දිහාට හැරෙන්න හැදුවත්...
සියුම් තුඩක් යීබෝගේ ගෙල පිටුපස පසාරු කරගෙන ගිය බව යීබෝට දැනුනා. කූඹියෙක් කනවා වගේ ක්ශණික වේදනාවක් ගෙල පිටුපසින් දැනෙද්දී යීබෝ බෙල්ලත් අල්ලගෙන කාන්තාව දිහාට හැරුනා.
"තමුන්..."
කාන්තාව අතේ තිබුනු සිලින්ජරය දකිද්දී යීබෝ දබර ඇඟිල්ල උරුක් කරගෙන කාන්තාව දිහාට අඩියක් තිබ්බත්, යීබෝගේ සිරුර වේගයෙන් අඩ පන වෙමින් තියන බව යීබෝට තේරුනා.
යීබෝ ඉක්මනින් අත බැදි ඔරලෝසුවේ තියන අනතුරු අගවන බට්න් එක ඔබන්න හැදුවත් මේ තරම් වෙලාවක් කලු පැහැති වීඳුරු වලින් ආවරණය කල කාර් එකේ ඉදපු හැඩි දැඩි පිරිමින් දෙන්නෙක් කාර් එකෙන් බැහැලා ඇවිත් යීබෝව අල්ලගත්තා.
"මට යන්න දීපං යකෝ... උබලා කවුද..."
යීබෝ වොච් එකේ තියන බට්න් එක ලගට අත ලං කරද්දීම කාර් එකෙන් බැහැලා ආව පුද්ගලයන් දෙදෙනා යීබෝගේ අත් දෙකෙන් අල්ලගත්ත නිසා යීබෝට ශාන්ට පණිවිඩය දෙන්න බැරි උනා. ( වොච් එකේ තියන අනතුරු අගවන සංඥාව )
තප්පර කීපයක් ඇතුලත මේ හැමදේම සිද්දවෙද්දී ටිකෙන් ටික තම සිරුර අඩපන වෙන බව දැනුන නිසාම යීබෝ අසිහියෙන් මෙන් කෑ ගහමින් පිරිමින් දෙදෙනාගේ ග්‍රහණයෙන් මිදෙන්න දැගලුවත් යීබෝටත් අවනත නොවී අඩපණ වෙමින් තියන සිරුර නිසා යීබෝට කිසිම දෙයක් කරගන්න බැරි වුනා.
ඇස් දෙක ඇරගෙන ඉන්න මොනතරම් උත්සාහ කලත් යීබෝගෙ ඇස් ටිකෙන් ටික නිදි බරින් පියවෙන්න ගත්තා. තව දුරටත් හිටගෙන ඉන්න කකුල් වාරු නැති වෙද්දී යීබෝ නොවැටී හිටියේ යීබෝගේ දැපැත්තෙන් අල්ලගෙන ඉන්න හැඩි දැඩි පිරිමින් දෙදෙනා නිසා.
"බ...නී...."
නොදැනීම යීබෝගේ මුවින් ඇහෙන නෑහෙන හඩින් ශාන්ගේ නම කියවෙද්දී මේ තරම් කරදරේකට මැදිවෙලා ඉද්දිත් ශාන්ව කැම්පස් එක ලඟට ගිහින් අරලවපු එක ගැන යීබෝගේ හිතට සතුටක් දැනුනා. යීබෝ ගෙදර නැවතිලා ශාන් තනියම කැම්පස් එකට ආවා නම් මේ තත්වයට මූන දෙන්නේ ශාන් බව තේරුම් ගන්න බැරි තරමට යීබෝ මෝඩ කෙනෙක් නෙමෙයි.
අවසන් තප්පර කීපයේදී යීබෝව දැපැත්තන් අල්ලගෙන ඉදපු පිරිමින් දෙදෙනා යීබෝගේ අත් දෙකෙනුත් කකුල් දෙකෙනුත් අල්ලගෙන යීබෝව ඔසවාගන්නා බව යීබෝට තේරුනා. ඒ වෙද්දිත් බාගෙට පියවිලා නින්දත් නොනින්දත් අතර තිබුනු ඇස් තදින් පියවෙද්දී යීබෝ ගැඹුරු නින්දකට වැටුනා.
.
.
.
.
.
.
"""හරියටම තුන වෙද්දී එනවා කියපු එකා කොහේ ගිහිල්ලද... කාර් එකේ ආවානම් මේ වෙද්දී ගෙදරත් ගිහිල්ලනේ..."""
යීබෝ හරියටම තුන වෙද්දී එනවා කියපු නිසා ශාන් විනාඩියක්වත් පරක්කු නොවී තුන වෙද්දීම කැම්පස් එකෙන් එළියට ආවත් 3.30 වන තුරුත් යීබෝ ආවේ නැති නිසා ශාන් හිතින් බනිමින් කැම්පස් එක ඉස්සරහට වෙලා යීබෝ එනකම් බලාගෙන හිටියා.
හතර පස් වතාවක්ම ශාන් යීබෝගේ ෆෝන් එකට කතා කළත් යීබෝ ෆෝන් එක ආන්සර් කරන්නේ නැති නිසා අංතිමේදි ශාන් මෙයි ආන්ටිට ඇමතුමක් ගත්තා.
📞
"ශාන් පුතා..."
"ආන්ටී... යීබෝ ගෙදර ඉන්නවද..."
පාරේ එන මග බලමින් ශාන් මෙයී ආන්ටිගෙන් නොයිවසිල්ලෙන් ඇහුවා.
"උදේ ඔයත් එක්කමනේ ගෙදරින් ගියේ... ඊට පස්සේ තාම ගෙදර ආවෙ නෑ ශාන්..."
"""බෝ ආයිමත් මට කියන්නෙ නැතුව තනියම කොහේ හරි ගියාවත්ද..."""
යීබෝ උදේ ඉදන් ගෙදර ආවේ නැති බව කියද්දී ශාන්ට මුලින්ම හිතුනේ යීබෝ ගිය වතාවෙදි වගේම ශාන්ටත් නොකියා කොහේ හරි යන්න ඇති කියලයි.
"ඒ කියන්නේ උදේ ඉදන් බෝ තාම ගෙදර ආවේ නැද්ද ආන්ටි..."
"නැහැ ශාන්... ආවනම් මම දකිනවනේ... ඇයි යීබෝ පුතා කෙල්ලෙක් එක්කවත් එළියට ගිහින්ද..."
මෙයි ආන්ටි සැකමුසු හඩින් ඇහුවත් මෙයි ආන්ටිගේ ප්‍රශ්න වලට උත්තර බදින්න තරම් හොද මානසිකත්වක් ඒ වෙලාවෙදී ශාන්ට තිබුනේ නෑ.
"එයා ගෙදර ආවොත් මට කතා කරන්න කියන්න ආන්ටි..."
මෙයි ආන්ටිගෙන් පිළිතුරක් ලැබෙන්නත් කලින් ඇමතුම විසන්දි කරපු ශාන් එසැනින් යීබෝගේ කාර්‍යාලයේ දුරකතනයට ඇමතුමක් ගත්තා.
"හෙලෝ..."
යීබෝ සර්ගේ කාර්‍යාලීය දුරකථන අංකය ආයතනයෙන් පිට බාහිර පුද්ගලයන් ලඟ නැති නිසා ශාන්ට දුරකථනයෙන් ෆැන් බීගේ කුතුහලයෙන් පිරුනු හඩ ඇහුනා.
"ෆැන් බී මම ශාන්... යීබෝ අද ඔෆිස් ආවද..."
"ආ... සර් අද ඔෆිස් එකට ආවේ නෑනේ ශාන් සර්..."
"සර් අද කොහේ හරි යනවා කිව්වද..."
"එහෙම කිසි දෙයක් කිව්වෙ නෑ ශාන් සර්... මොකක් හරි ප්‍රශ්නයක්ද..."
ශාන්ගේ කලබලකාරි හඩ නිසා ෆැන් බීත් කලබලෙන් ඇහුවා.
"නෑ නෑ... එයා ඔෆිස් එකට ආවොත් මට කියන්න..."
දුරකථන සංවාදය අවසන් කල ශාන් පාර අයිනට ඇවිත් ඈතින් එන ටැක්සියට අත දැම්මා.
"""තවත් මෙතනට වෙලා බලන් ඉදලා බෑ... ඕක අදත් මට නොකියා තනියම කොහේ හරි ගිහිල්ලා තිබුනොත්... අද නම් ලේසියෙන් අමතක කරන්නේ නෑ..."""
"රෝස් ගාඩ්න් එකට යමු අංකල්..."
යීබෝට හිතින් බනිමින්ම ටැක්සි රථයට ගොඩ වුනු ශාන් මහලු රියදුරුට යන්න ඕන තැන කියලා ආයිත් යීබෝට කෝල් එකක් ගත්තා.
තමන්ටත් නොකියා තනියම කොහේ හරි ගිහින් ඇති බව හිතමින් ශාන් යීබෝට බැන්නත් ශාන්ගේ හිතේ යීබෝ ගැන බයක් නැතුවාම නෙමෙයි. 'මොනවා හරි කරදරයක් උනාවත්ද' කියලා සැරින් සැරේට හිත ඇතුලෙන් ප්‍රශ්න කරද්දී හිතට දැනෙන බය නොසන්සුන් බව පාලනය කරගන්න ඕන නිසාම ශාන් යීබෝට හිතින් බනින්න වුනා.
"""ආයිශ්... කොහේ ගියත් කමන්නෑ... මේ බූරුවා කෝල් එක ආන්සර් කරන්න දැනගන්න එපැයි..."""
ටැක්සි රථයේ රියදුරුත් රෝස් ගාඩ්න් එකට යන්න ඇති කෙටිම මාර්ගය උනු අතුරු පාරට ටැක්සිය හැරෙව්වා.
ශාන් ආයි ආයිත් යීබෝගේ ෆෝන් එකට ඇමතුම් ගත්තත් එක දිගට රින්ග් වෙලා කට් වෙනවා ඇරෙන්න, ඒ එක වතාවකදිවත් යීබෝ කෝල් එක ආන්සර් කරේ නෑ. මේ වෙද්දිත් කීපවතාවක්ම බින්ට ඇමතුමක් ගන්න ශාන්ට හිතුනත්, සිද්දවුනේ මොකද්ද කියලා හරියටම නොදන්න නිසා ශාන් තාමත් බින්ට කතා කලේ නෑ.
"අංකල් ටිකක් ඔතන ඉස්සරහින් නවත්තන්න..."
යීබෝගේ ෆෝන් එකට නොනවත්වා කෝල් ගනිමින් ඉදපු ශාන් අතුරු පාරේ ඉදිරියෙන් දැකපු දෙයක් නිසා මහලු රියදුරුට කාර් එක නවත්තන්න කිව්වා.
"""දෙවියනේ... මේක මොකද මෙතන..."""
පාර අයිනක නවත්තලා තිබුනු සුදු පැහැ කාර් රථය ලඟින් ටැක්සිය නවත්තද්දී ඒ තියෙන්නේ තමන්ගේම කාර් එක බව අඳුරගත් ශාන් ටැක්සියෙන් එළියට පැනලා දොරවල් ඇරලා බැලුවත්, යීබෝ කාර් එක ඇතුලේ හිටියේ නෑ.
කාර් එකේ යතුරත් කාර් එකේම තියන බව දකිද්දී නම් ශාන්ගේ හිතට දනු බය සිය දහස් ගුණයකින් වැඩි උනා. ශාන් කාර් එක ලඟ හිටගෙන වටපිට බැලුවත් පණිවිඩයක් දැනගන්න පුලුවන් ගෙයක්වත් කැමරාවක්වත් ඒ අවට කොතනකවත් තිබුනේ නෑ.
"බෝ... බෝ... යීබෝ..."
උසට ගස් වැවී ඇති පාලුවට ගිය ඉඩම් පුරා නෙත් යවමින් ශාන් යීබෝට කතා කළත් ශාන්ට කිසිම පිළිතුරක් ලැබුනේ නෑ. පිස්සුවෙන් වගේ පාලු පාරේ ඉස්සරහටත් පසුපසටත් දුවමින් කෑ ගහපු ශාන් අංතිමේදී ආයිත් කාර් එක ලඟට ඇවිල්ලා වෙව්ලන ඇඟිලි වලින් බින්ට ඇමතුමක් ගත්තා.
"ශානයා..."
"බිනා... මගෙ බෝ..."
දුරකථනයෙන් ශාන්ගේ වෙවලන හඩ ඇහෙද්දී බින්ට දෙයක් සිදුවී ඇති බව තේරුනා.
"ඇයි බන්... මොකක් හරි ප්‍රශ්නයක්ද...??"
"යීබෝ කොහෙද කියලා හොයාගන්න නෑ බන්... කාර් එක විතරක් පාර අයිනේ තියනවා..."
ශාන් වමතින් තමාගේම හිසකෙස් අවුල් කරගන්න ගමන් පාර පුරාවට නෙත් යවමින් කතා කලා.
"උබ යීබෝට කෝල් කරලා බැලුවද...?"
"පැයක් තිස්සේ කෝල් කරන්නේ බන්... එක වතාවක්වත් ආන්සර් කලේ නෑ..."
"අංතිමට යීබෝ උබට කෝල් කලේ කොයි වෙලාවෙද..."
"උදේ උබලගේ ගෙදර ඉදන් කෙලින්ම මාව කැම්පස් එක ලගින් දාගෙන ගෙදර යන්නම් කිව්වා... මමමයි කිව්වේ මේ පාර ලඟ හින්දා මේ පාරෙන් යන්න කියලා... ඊට පස්සෙ මට කතා කලේ නෑ බන්... දැන් පැය අටකටත් කිට්ටුයි... අනේ බන්... ඉක්මනට මොනවා හරි කරපං..."
බින් අහන හැම ප්‍රශ්නෙකටම උත්තර දුන්නත් ශාන් මේ වෙලාවෙදි හිටියේ හොද සිහියකින් නෙමෙයි. යීබෝව හොයන්න උදව් කරන්නෙ නැතුව ප්‍රශ්න අහමින් ඉන්න බින් ගැනත් ශාන්ට කේන්තියක් දැනුනා.
"කාර් එක තියෙන්නේ කොතනද කියපංකෝ..."
"කැම්පස් එකට වම් පැත්තෙන් තියන අතුරු පාරෙ මැද හරියට වෙන්න..."
"ඔතනම ඉදපන්... මම මේ දැන් ඔතනට එනවා... සමහර විට වට පිටාවෙන් මොනවා හරි හෝඩුවාවක් හොයාගන්න පුලුවන් වෙයි..."
"ඉක්මනට වරෙං බං... මම තනියම ආවනම් අද මේ දේ වෙන්නේ මට... බෝට මොනවා හරි ගැන සැක හිතෙන්න ඇති... ඒකයි බලෙන්ම මාව කැම්පස් එකට ඇරලවන්න ආවේ... බෝට මොනවා හරි උනො..ත්... ම..ට.. මට...ම ස..මාව දෙන්..න බැරි වෙයි.. බන්..."
උදේ ඉදන් යීබෝගේ හැසිරීමෙ වෙනසක් තේරුනත් ඒ ගැන ගනන් ගන්නෙ නැතුව ඉදපු එක ගැන ශාන් හිතෙන් පසුතැවෙන්න උනා. යීබෝ ගැන හිතනකොට, ඇස් වලින් නොනවත්වා කඳුළු ගලන්න ගනිද්දී ශාන් කාර් එකට පිට දීලා එතනම බිමින් ඉදගත්තා.
"පොඩි එකෙක් වගේ අඩන්න එපා බන්... යීබෝට මොනව උනාද කියලා තාම දන්නෙ නෑනේ... උබ ඔහොම දුර්වල උනහම අපි කොහොමද යීබෝ ගැන හොයන්නේ... මම විනාඩි පහෙන් ඔතන... එතකන් ඔතනටම වෙලා ඉදපන්..."
බින් ෆෝන් එක කට් කරද්දී ශාන් එහෙන්මම ෆෝන් එක ශාන් ලගින්ම බිමට අතහැරෙන්න ඉඩ දුන්නා.
මහ පාරේ ඉදගෙන කාර් එකට ඔලුව හේත්තු කරගෙන නොනවත්වා අඩමින් ඉන්න තරුණයා දිහා බලපු ටැක්සි රථයේ රියදුරු නිහඩව එතනින් නොයා ටැක්සිය ඇතුලටම වෙලා හිටියේ ශාන් කතා කරපු දේවල් වලින් සිද්දවෙලා තියන දේ යම් තරමක් දුරට තේරුම් ගන්න පුලුවන් උන නිසා.
•______________________________________•
දවස් ගානක් ටික ටික ලියලා ඔන්න අද කොටසක් අරන් ආවා... 🤗❤️💚
ඔයාලගේ අදහස් කියාගෙන යන්න ඉතින්...
මේ කතාවේ තව කොටස් කීපයයි තියෙන්නේ...
කතාව දෙන්න පරක්කු උනත් දිගටම කතාව එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ආදරෙයි...💚❤️💚❤️